මතකය

Posted by tharaka


දුක සිත වෙලාගෙන,
කඳුල මා ලඟ ඇන තියාගෙන,
ටිකින් ටික.....බිඳෙන් බිඳ......
මතක් කර දෙයි,
ප්‍රථම ප්‍රේමයේ මිහිරියාව....
අඳුරු කුටියක සිර කළ,
සොඳුරු මතකය ඉස්සර,
ඇයත් සමඟින් ඈත තුරු යට.....
කියූ පෙම් බස් මතක් වන සඳ,
හඬමි කඳුලැල් සඟවගෙන......

කඳුල

Posted by tharaka

විටෙක ඇද හැලෙන,
විටෙක නොවැටී රැඳී තිබෙන,
දුකට ද, සතුටට ද,
හැම විටම ළඟ හිඳින,
ජීවිතයේ කලණ මිතුරා,
කඳුල.............

වැස්ස

Posted by tharaka

ගැබ්බර අහස විළි වදා,                                                               
මහ පොළොවට ජනිත කළ,
පිනි වැස්ස නම්,
ළදරුවා....
කල් ඇවෑමෙන්,
මල්වර වී,
නා කපන වැස්සක් වෙමින්,
කරයි හිරිහැර,
තම උපත වෙනුවෙන් සිනාසුනු,
මිනිසුන්ට.......

පහන් කණුව

Posted by tharaka

එක් සැඳෑවක මා නගරය වෙත පැමිණියේ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය කිහිපයක් මිලට ගැන්ම සඳහාය.විවිධ කඩ සාප්පු අතරේ කල් මැරූ මම අවශ්‍ය ද්‍රව්‍ය ද මිලට ගෙන සවස හයට පමණ නැවත මා නවතැන් ගෙන සිටින කාමරය බලා යාමට නගරයේ ප්‍රධාන වීදිය ඔස්සේ පැමිණෙමින් සිටියෙමි.

මේ වන විට වීදියෙහි පහන් කණුවල රැඳී සිටින විදුලි බල්බ දැල් වී මුළු වීදියම ගෙන තිබුණේ මහත් වූ සිරියාවකි.එහෙත් එම ශ්‍රියාව රථ වාහන වල කර්කශ ශබ්දය, මිනිසුන්ගේ කාල ගෝට්ටි හඬ නිසා පහව ගොස් ඇත.මම මේ පිළිබඳව සිතමින් වීදිය දිගේ ගමන් කළෙමි.මඳ දුරක් පැමිණි විට වීදියේ එක් පහන් කණුවක් යට සිටගෙන සිටි තරුණ කාන්තාවක් මා නෙත ගැටිණි.ක්ෂණයකින් මට මහගම සේකරගේ කවියක් මතක් වුවද එහි පද පේලි සිතේ ලැගුම් ගෙන නොතිබූ බැවින් එය නැවත මතක් කිරීමට මම වෑයම් නොකළෙමි.

පහන් කණුව පිටුපස ඇත්තේ ඉතා ජනප්‍රිය අවන්හලකි.මෙහි ආහාර පාන පමණක් නොව මත්පැන් ආදිය ද අලෙවි කරනු ලබ යි.මෙම කාන්තාව පහන් කණුව යට සිටිනුයේ මහ මඟ යනෙන රථ වාහන දෙස නොඉවසිලිමත් ලෙස දෑස් අයාගෙනය.ඇගේ ඇඳුම් පැලඳුම් ද සංකරය.එහෙත් ඇගේ රුව මගේ නෙත් තදින් වැලඳ ගෙන ඇත.නමුත් එක් වනම මගේ සිතට ඇතුළු වූ සිතිවිල්ලක් මා චංචල කරවීය.මන්ද යත්, මෙවන් සුරූපී ළඳක් සංකර ඇඳුමින් සැරසී පහන් කණුව යට සිටිනුයේ කුමන අදහසකින්ද?මම ඇගෙන් නොව මගෙන්ම ප්‍රශ්ණ කර ගත්තෙමි.මගේ කල්පනා ලෝකයේ දොරටු විවෘත විය.

අහෝ, මෙය කුමන නම් වූ ඛේදවාචකයක් ද?කාන්තා අයිතීන්,කාන්තා ප්‍රශ්න පිළිබඳව බරසාර වචන යොදා කතා කරන කථා කාරයින්ට මෙවැනි ළියන්ව නොපෙනෙන්නේ ද?ප්‍රථම වරට මට ඇය කෙරෙහි අනුකම්පාවක් ඇති විය.මුදල් සෙවීම සඳහා මෙවැනි රැකියාවක් ඇයට තෝරා ගැන්මට සිදු වූයේ මේ සාමාජීය වැරදි හේතුවෙන් නෝවේද?මේ කාරණය පිළිබඳව අදම පුවත්පතකට ලිපියක් ලියන්නට මම තීරණය කළෙමි.

මෙම තරුණ සුරූපී ළඳ මෙවැනි වෘත්තියකට යොමු වන්නට ඇත්තේ මෑත කාලයේදී විය හැකිය.මා උගත් දැනුමට අනුව ලාංකීය ශ්‍රේෂ්ඨ සභ්‍යත්වයේ මහා වෘක්ෂය බිම පතිත වූයේ විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වා දීමත් සමඟ ය.අපේ ශ්‍රේෂ්ඨ සංස්කෘතිය විනාශ කරන මෙවැනි වෘත්තීන්ද එහි අනිසි ප්‍රථිපලයන් ය.එසේ නම් අද මෙම කාන්තාවට අත් වී ඇති ඉරණමට ද විවෘත ආර්ථිකය වගකිව යුතුමය.මම විවෘත ආර්ථිකයටත්, විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නවුන්ටත් සිතින් ශාප කළෙමි.

මගේ සිතිවිලි ගලන නදියක් වැනිය.එක් වරම මට ඇයව මිලට ගනු ලබන පාරිභෝගිකයා ඇය කෙරෙන් විඳින්නා වූ තෘප්තිය සිහියට නැඟුණි.මගේ ශරීරය පුරා ගලා ගියේ වින්දනය මුසු හැඟීම් දහරකි.මෙතෙක් වේලා ඇය කෙරෙහි දයානුකම්පාවෙන් ජනිත වූ සියලු චිත්තයන් සිරකර දොරගුලු දමන්නට එය සමත් විය.මගේ ඇතැම් මිතුරෝ මේ අයුරින් ඔවුන් ලැබූ විනෝදාත්මක කාලයන් පිළිබඳව රස නොමරා පවසද්දී මා එය ඇසූවේ හුදු සිනහව ලැබීමට පමණි.එහෙත් මට අද ඉන් ඔබ්බට ගිය හැඟීම් සමුදායක් පහළ විය.ඔවුන් කායිකව ලැබූ වින්දනය මම සිතිවිලි වලින් වින්දෙමි.

ක්ෂණයකින් මා සිත වෙලාගත් නපුරු සිතිවිල්ලක් මා බියට පත් කරන්නට විය.එනම් මෙවැනි ලියන්ට වැලඳී ඇතැයි කියන්නා වූ සමාජ රෝග පිළිබඳවය.එකෙනෙහිම මට ඇති වූයේ පිළිකුලකි.මුදලට මෙවැනි රෝග ඇත්තවුන් සමඟ වින්දනීය හෝරා ගත කරන්නවුන් සමඟ ද මට ඇති වූයේ කෝපයකි.

එකෙනෙහිම මගේ සිතිවිලි නදිය සිඳී ගොස් ප්‍රකෘති තත්වයට මම සම්ප්‍රාප්ත වුණෙමි.ඒ ඇය සමීපයට පැමිණි මෝටර් රියක ශබ්දය හේතුවෙනි.එය නවීන අංගෝපාංග සහිත මෝටර් රථයකි.ඇත්තෙන්ම මෙවැනි රියක හිමිකාරීත්වය දරන්නා කෙසේ නම් ධනවතෙකු වන්නට ඇත්ද?මට සිතිණි.එම තැනැත්තා මැයගේ උණුසුමට ගිජු වූවෙකු විය යුතුය.මට ඔහු කෙරෙහි පළමුව අනුකම්පාවක්ද දෙවනුව අනුකම්පාව මැඩ ගත් කෝපයක්ද ඇති විය.

ක්‍රම ක්‍රමයෙන් රථයේ ඉදිරිපස වීදුරුව පහත් විය.එ තුළ සිටි තරුණයා තරුණියට මොනවාදෝ කීවේ ය.මඳ සිනහා පෑ ඇය රථයේ ඉදිරිපස අසුනෙහි වාඩි විය.ඉනික්බිති රථය අනෙක් රථ වාහන පෙලට එක් විය.

මට පිටුපසින් දෙපා ගැටෙන හඬක් ඇසිණි.මම හැරී බැලුවෙමි.මැදි වියේ අයෙක් මා ලඟට විත් හති දමයි.
"මොකද ලොකු උන්නැහේ?" මම ඇසීමි.
"බලන්නකෝ මහත්තයෝ,මේ දෑන් මෙතනින් වාහනේ ගියේ අපේ අල්ලපු ගෙදර මහත්තයා.මාව දැක්කනම් දාගෙන යනවා.ෂිහ්! අපරාදේ"
මම ඔහු දෙස අවඥාවෙන් බෑලූයේ අද නම් මොහුව දුටුවත් ඔහු සිය මෝටර් රථයේ අසුනක් මොහුට පරිත්‍යාග නොකරන බව දන්නා හෙයිනි.එම නිසා ඒ බව මොහුට ඇඟවීමට මම සිතුවෙමි.
"එතකොට අර ඒ මහත්තයත් එක්ක කාර් එකේ ගිහිපු නෝනා කවුද?මෙතන ගොඩක් වෙලා හිට ගෙනත් හිටියා.කාර් එක නවත්වපු ගමන්ම ගිහින් නැග්ගත් එක්ක"
මම සියුම් සතුටකින් යුක්තව පැවසූවෙමි.
"ආහ්! ඒ මහත්තයගෙ නෝන නෙ.එයා වැඩ ඉවරවෙලා මෙතෙන්ට තමයි එන්නෙ.මහත්තයා මෙතෙන්ට ඇවිත් නෝනාව එක්කගෙන යනවා.සමහර දවස් වලට මටත් ඒ නෝනාව මෙතෙන්දි හම්බ වෙනව.එහෙනම් මම යනවා මහත්තයෝ"
ඔහු මගෙන් සමුගත්තේය...හිස මඳක් සෙලවූ මම ඔහු යන දෙස නිරුත්තරව බලා සිටියෙමි......

ආදර හසුන

Posted by tharaka

ඉවසන්නට බැරිම නිසා,
යැව්වා මම කෙටි ලියුමක්,
මම ආදරෙ ඔයාටමයි,
එය කිසි දින නොඅඩුමවෙයි,
පසු දින ආවා පිළිතුරු,
මම ආදරවන්තියකමැයි,
ඔබේ හිතේ ඇති අදහස,
ඉවත් කළොත් හොඳයි කියා.....

මිහිපිට දෙව්ලොව

Posted by tharaka


දෑස් පොඩිකර නිදි මතින්,
බමන හිත නලවා ගීයකින්,
නිදි පැදුර මත ඇලවුනෙමි මම,
සිහිනයක් දක්නා රිසින්,
සුරඟනන් මල් ඉති ගොතා,
මා හිසේ ගෙල පලඳවා,
කර මතින් ඔවුනගේ පැල වෙත,
ගෙන ගියා දෙව්ලොව කියා....
වැටෙන වැහි බිඳු පොලතු අතරින්,
ගලන සෙනෙහස බිත්ති සතරින්,
මවක නැලවිලි ගී ගයන්නේ,
සාගින්දරින් හඬන දරුවට,
පොවනු නොහැකිව කිරි බිඳක්...
මෙයද ලොවකී මිහිපිටේ,
සතුට නැති දුක පමනක්ම උරුමැති,
කඳුලු නදියකි මිහිතලේ....